Tuesday, July 24, 2018

ඉස්සර අබිලිං! දැන් ෆේස් බුක්!!







ෆේස් බුක් වෝල් එක ගැන ටිකක් කතා කරන්න හිතුනා අද..
මාර්ක් අපිට දුන්නු මේ වෝල් එක එක එක්කෙනා පාවිච්චි කරන ක්‍රමය වෙනස්! මොකද ඕප දූප හොයන්න නම් දැන් ෆේස් බුක් ලොග් වුණොත් ඇති!

මම කාලයක් කලේ ඇහැට දකින, මට හොඳා කියලා හිතෙන ඕනම පෝස්ට් එකක් ශෙයා කල එක..
පස්සේ සමූහ වලට එක්වීම හරහා ලියන්න පටන් ගත්තා. මුලින්ම ලිපි පස්සේ කවි නිසදැස් කෙටිකතා කියලා දිගට හරහට ලියනවා.
හැබැයි මේ දේවල් කලේ මම මගේ තනි බුද්ධියෙන් නම් නෙමෙයි මට ලියන්න උර දුන්නු අය තිර පිටුපස හිටියා! තවමත් මා එක්ක ඉන්නවා! 
හැබැයි මේ ලියන්න ගත්තායි පස්සේ මම තේරුම් ගත්දේ තමයි මගේ වෝල් එක අර්ථවත් වුණ බව!
අද නෙමෙයි තව අවුරුදු 10 / 15 කට විතර පස්සේ මගේ දරුවො ලොකු වෙලා අම්මාත් ඒ කාලේ එෆ් බී හිටියලු කියලා මගේ වෝල්.එක බැරුවොත් මේ වෝල් එකේ කොතනකදි වත් මං කඳුලු පෙරාගෙන අඬලා නෑ.. තව කෙනෙකුට හින්ට් ගහලා නෑ.. කවදා කවුරු මගේ වෝල් එක බැලුවත් හරි ආඩම්බරයෙන් පෙන්නන්න පුළුවන් වෝල් එකක් දැනට තියෙනවා ඉදිරියටත් තියේවි කියලා මං විශ්වාස කරනවා. (දැන් ඔය පට්ට පරණ පෝස්ට් එහෙම හාරවුස්සනවා නෙමෙයි ඈ.. 😂)

මං දැන් කිව්වනේ මම ලියන්න ගත්තාට පස්සේ මගේ වෝල් එක අර්ථවත් වුණා කියලා. ඔව්.. හැබැයි මේ වෝල් එකේ ලිපියක් දෙකක් ලිව්වා මම හුඟක් ආවේගයෙන් හිටිය වෙලාවක. ඒකට මට ලැබුනා හොඳ පොල් ටොක්කක්..😜 එදා පටන් මං මගේ ආවේගය හැඟීම් මේ වෝල් එකෙන් පිට කරන් නෑ!

ඉතින් දැන් ඔයාලා මගෙන් අහයි කන බොන දේ වෝල් එකේ දාන්න පුළුවන් නම්, උයන පිහින දේ වෝල් එකේ දාන්න පුළුවන් නම්, අලුතෙන් ගත්තු හෑන්ඩ් බෑග් එක සෙරෙප්පු ජෝඩුව වෝල් එකේ දාන්න පුළුවන් නම් යන එන තැන වෝල් එකේ දාන්න පුළුවන් නම් ඇයි මේ හිතේ දරා ගන්න බැරි ප්‍රශ්ණයක් වෝල් එකේ දාන්න බැරි කියලා!

එපා! කන බොන දේ අඳින පළඳින ඇඳුම වගේ ද ජීවිතේ කියන්නේ? ඉස්සර කියමනක් තිබ්බ ගෙයි ගින්දර පිටට දෙන්න එපා කියලා. ඇයි බිත්ති හතරක් ඇතුලේ කතා කර ගන්න පුළුවන් ප්‍රශ්ණයක් දන්න නොදන්න අය ඉස්සරහා, නෑදෑයෝ යාලුවෝ ඉස්සරහාට ගෙන්නේ? පොඩිවට විසඳගන්න පුළුවන් දේ ෆේස් බුක් වෝල් එකේ දාලා තවත් ලොකු කරගන්නවා. ඕකට කියන්නේ නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපනව කියල ලු! 
ඇයි අපේ දුර්වල කම අපි අනික් අය පෙන්නන්න ඕනි?


හැබැයි මේ වෝල් එකෙන් අපි දාන දේ වලින් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් ඇතා නැතා වාසි ගන්නම කියලා පිරිසක් බලා ඉන්නවා! මට මේ ලඟදී කෙනෙක් මැසෙජ් කරනවා
'අක්කේ ඔයා තනි වෙලා නේද? ඔයාට ඕන උදව්වක් මං කරන්නම්' කියාලා.. හෑ??? මේ මං තනි වෙලා??? ඉතින් මං ඇහුවා 
'ඇයි මල්ලි එහෙම ඇහුවේ?' 
'නෑ අක්කේ මං ඔයාගේ වෝල් එක බැලුවා' කියලා කිව්වා..

අහ් හා.. දැන් ඒ පාර ඔයාලා හිතනවා යකූ මේකි මේ දැන් කිව්වේ වෝල් එක අර්ථවත් කියලා ඒ ටිකට බළලා පැන්න නේද මල්ලෙන් එලියට කියලා. ඕක නේ කියන්නේ ඉක්මණ් නිගමන වලට එන්න එපා කියලා!

ඉතින් ඔන්න මාත් දැන් ඔයාලා ඔය කිව්ව සැකයෙන්ම ආයේ මගේ වෝල් එක බැලුවා. තනිවුණ කතාවක් කොහෙද බොලේ කියලා. අන්න පස්සේ තේරුනේ මගේ වෝල් එකේ කවි කතා නිසදැස් ඔක්කොම මේ කොලුවා කියෝලා මං ගැන අනුකම්පාවක් හිතිලා! 😂ඔය නිකම් හිතන එන සිතුවිල්ලක් අකුරු කලා මිස ඒකෙන් මගේ ජීවිතය මනින්න බෑ තව කෙනෙක්ට.
මේ මැසෙජ් කරපු පුද්ගලයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේත් නැති කෙනෙක්. තරුදිනි කවි කතා ඇල්බම් එක පබ්ලික් දාලා තියන නිසා ඒක කියවලා මේ මං ගැන දුක් වෙන්නේ!

ඉතින් එහෙම තියෙන එකේ හිතන්නකො අපේ ගෙදර තියන ප්‍රශ්ණ ගැන වෝල් එකේ දැම්මා වෙන්නේ ගහෙන් වැටුන එකාට ගොනා ඇන්නා වගේ තවත් අලුත් ප්‍රශ්ණයට පාරක් හදා ගන්න එක විතරයි!
ගැහැණියක් වුණාම ස්වාධීන වෙන්න ඕනි! කෙලින් කතා කරන්න! කෙලින් වැඩ කරන්න! මේ සමාජය ඉස්සරහා කොන් නොවී ගාම්භීර ඉන්න ඕනා මිස අපේ දුක් අඳෝනා වෝල් ලියලා අනුකම්පාවක් ගන්න එකෙන් කිසි දෙයක් වෙන් නෑ කාලයක් යද්දි ආපහු අපේ වෝල් එක බැලුවාම අපිටම ලැජ්ජයි ඒක බලන්න.

ඉතින් ගෑණු පිරිමි කාටත් මං කියන්නේ ෆේස් බුක් කියන්නේ ජීවිතයේ ප්‍රශ්ණ වලට විසඳුමක් තියෙන උත්තර පත්‍රයක් නෙමෙයි. ජිවිතේට දැනුම ලබන්න! පුංචි විනෝදයක් ලබන්න! යාළුවො හම්බෙලා පොඩි චැට් එකක් දාලා ආ ගිය දේ කතා කරන පුංචි අවකාශයක් මිස ඔයාගෙත් මගෙ දුක්ගන්නා රාළවත් එලිපිට රහස් ලියන ඩයරියක පිටුවත් නෙමෙයි මේ ෆේස්බුක්! 

1 comment: